නොසිතා පැවතීම, පැවතීමට සිතීම සහ අපි

පේරාදෙණිය සරසවිය යනු දිවිය තුල මහත් වූ මතකයන් ගොන්නක් එක්තන් කල සොඳුරු සරසවි බිමකි. සිවු වසරක සරසවි දිවිය නිමවිඉමට තවත් ඇත්තේ කෙටි කලසීමාවකි. සරසවියෙන් නික්ම යාමට නොබෝදිනක් තිබියදී පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨය මගින් සංවිධානය කල වේදිකා නාට්‍යයක් සිතට ගෙන ආවේ අපූර්ව හැඟීමකි. ප්‍රථමයෙන්ම විද්‍යා පීඨයේ සහෝදරයන්ගේ ඒ අගනා උත්සාහයට මාගේ ගෞරවය පුදකරමි. ඔබ කිසිදිනෙක මේ වේදිකා නාට්‍යය නරඹා නොමැතිනම් ලැබෙන ප්‍රථම අවස්ථාවීදීම එය නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි.

නාට්‍යයේ නම් “ගුටි කෑමට නියමිතයි” ලෙස සටහන් කල හැක. පුරා පැය 1 ½ තුල දිවෙන නාට්‍යයේ ඇත්තේ චරිත තුනකි. පසුතලයේ සුළු සුළු වෙනස්කම් සිදුවුවද නාට්‍යය පුරාවටම තිබුනේ එකම පසුතලයක් පමණක් යැයි කීමටද පුළුවන. නමුදු කිසිදු වෙහසක් නොමැතිව නැරඹිය හැකි අපූර්ව නාට්‍යයකි. මගේ අරමුණ නාට්‍යය පිළිබඳව විචාරයක් කිරීමට නොවේ. එය ඔබ සිය දෑසින්ම නරඹන්නේ නම් මැනවයි මම සිතන්නෙමි.

කෙසේ උවද නාට්‍යයේ අර්ථය පිළිබඳව නම් මදක් කතා නොකර බැරිය. නාට්‍යයට පූර්වයෙන් බෙදාහැරුණු පත්‍රිකාවක මෙසේ සටහන් වී තිබිණි “නොසිතමි එහෙයින් පවතමි, ජීවිතය යනු එයද ?”. සැබවින්ම මේ ප්‍රශ්නය අප විසින්, අප වෙතින්ම විමසිය යුතු කාලය දැන් එළඹ ඇත. දැන් දැන් අප, හෙට දිනයට පා තබන්නනේ නොසිතීම යනු අපේ පැවැත්ම කරගෙනය. නමුත් අප විසින් විමසිය යුතුව ඇත්තේ සැබවින්ම ජීවිතය යනු එයමද යන්නයි.

එකම භෞමික මායිමක දිවිගෙවන අනෙක විද වෙනස්කම් වලින් යුතු පරිසකගේ එකතුවක් වන අපි දැන් දැන් එළඹෙමින් පවතින්නේ නොසිතා දිවි ගෙවන ජීවන රාමුවකටය. අපිට අපගේ අනන්‍යතාවය අමතකව ගොස් ඇත. අපි මිනිසුන් බවත් සකලවිද සත්වයන්ගේ යහපත් වූ හෙටදිනක් උදෙසා කැපවීම මිනිසත් කම බවත් අප අමතක කර ඇත්තෙමු. තවද එවනක් පැවති බව ගැන සිතීමම, පැවැත්මට අයහපත් වෙතැයි සිතෙන නිසාවෙන් අපි ඒ පිළිබඳව සිතීමද අතහැර දමා ඇත්තෙමු.

අනේකවිද බලවේගයන් විසින් එකී බලවේග වල උවමනාවන් ඉටුකරගැනීම සඳහා අප නොයෙක් ආකාරයෙන් භාවිතා කිරීමට එකී බලවේගයන්ටම ඉඩදී අප කිසින් නොසිතා පවතින්නෙමු. අපි කිසිත් නොසිතා එකී බලවේගයන්ගේ වෙගරිද්ම නාදයට සිත්සේ පාද අල්ලමින් කිසිත් නොසිතා නටමින් ගයමින් වයමින් සිටින්නෙමු. අප වටා නැගෙන ගිනිදැල් වල ආශ්වාදය විඳිමින් එකී ගිනිදැල්වලින් අප දිනෙක දවී අළු වී යන බව නොසිතා සිටින්නෙමු.

නිදහස් අද්‍යාපනය බිඳවැටෙන විටද, නිදහස් සෞඛ්‍යය බිඳ වැටෙන විටද, නිදහසේ ජීවත් වීමේ අයිතිය පවා අහිමිවී යන විටද අපි කිසිත් නොසිතා පවතින්නෙමු. පාහරයෝ සහ අවජතකයෝ අපගේ දුවනියන් සමග වේදිකා මත යහන් ගතවන විට අපි කිසිත් නොසිතා පවතින්නෙමු. මේ කිසිත් ගැන නොසිතා අපි නිදහසේ පාවෙන සියුම් සමනල දිවියක් ගත කරන්නෙමු. අපි සුපර් ස්ටාර්ලාට එස් එම් එස් ගසන අයුරුද ඔවුන් ගේ සුමියුරු ගී හඬ ගැනද සිහිකරමින් සිටින්නෙමු. නමුත් අපි කිසිම දිනෙක අප විසින් පත්කර යවන එකදු නායකයෙකුගෙන් අප බලාපොරොතු වන්නේ කුමක්ද ඒවා නිසි ලෙස ඉටුවෙනවද යන්න ගැන මොහොතකට වත් නොසිතනෙමු.

ආගම් වාදින්ගේත්, ජාති වාදින්ගේත්, දේශපාලන කල්ලි වාදින්ගේත් අනේක විද මුලාවන් වල පැටලෙමින් එකම බිමක වෙසෙන සහෝදරයන්ගේම ලේපිපසාවෙන් පෙලෙන්නෙමු. නමුත් එකී ජඩයන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන අපි කිසිත් නොසිතා සිටින්නෙමු.

වරද ඇත්තේ අප සිතන්නට දන්නේ නැති කම නොව, වරද ඇත්තේ අපි සිතන දේවල් වලය. විරැකියාවෙන් පෙළෙන තරුණයෙක් තමන් මේ තත්වයට වැටුනේ මන්ද සහ එයින් මිදෙන්නේ කෙසේද යන්න සිතනු වෙනුවට අද සිතන්නේ රැකියාවක් ලබා ගැනීමට කුමන දේවාලයට යා යුතුද යන්නය. අධ්‍යාපනයේ අවස්ථා අහිමි වන්නෙකු ඒ අවස්ථාව දිනා ගැනීම පිළිබඳව සිතනු වෙනුවට සිතන්නේ සුපර් ස්ටාර්ට් කෙනෙකු වන ආකාරය පිළිබදවය. අධ්‍යාපනයේ මහඟු පල නෙලාගත්තෙකු තමන් උගත් දැණුම තුලින් සමාජය යහපත් වූ මානයකට ගෙනයෑමට සිතනු වෙනුවට අද සිතනෙනේ නිර්දේශපාලනීකරණය වීම නැතහොත් අලයෙක් සේ පාඩුවේ ජිවත් වීම පිලිබඳවය.

අපගේ ලෝකය, අපගේ සිරුර පමණක් වෙන තරමටම අපි මානසිකව මමත්වය කෙරෙහි ළගුව සිටින්නෙමු. තමන්ට ආතල් එකක් නොමැති කිසිවක් ගැන නොසිතීමට අප පුරුදුව ඇත. අතිතෙන්ම කියතොත් එසේ සිතීමට අපව මේ සමාජ යාන්ත්‍රණය විසින්ම පුරුදු කර ඇත්තේය .

පැවැත්ම උදෙසා අප විසින් ගොඩනගන ලද නොසිතීමේ මන්මුලාව අපගේ හෙට දවස මහත් අඳුරකට ඇද දමන බව අප විසින් වටහාගත යුතු කාලය එළඹ ඇත. අප වටා පවතින ලෝකය ගැන නොසිතීම තව තවත් අප අඳුරෙහිම ගිල්වන බව අප දැන් පසක් කර ගත යුතුව ඇත. කෙටියෙන්ම කියතොත් දැන්වත් අප සිතන්ට පටන් ගත යුතුය. අප වටා ඇති පරිසරය පිළිබදවද එහි වෙසෙන අනේක විද මිනිසුන් ගැනද අපගේ අනන්‍යතාවය පිළිබදවද අපි සිතිය යුතුය.

විරැකියාවෙන් පෙළෙන්නෙක් ඒ පිළිබඳවද, එයට හේතුවූ සමාජ ක්‍රමය පිළිබදවද, අධ්‍යාපන අයිතිය අහිමි වූවෙක් ඒ පිළිබඳවද, අධ්‍යාපන අයිතිය ලැබුවෙක් එය තව දුරටත් පවත්වා ගැනීම පිලිබදව සිතිය යුතුය. කෙටියෙන්ම කියතොත් අප විසින් යථාර්තය පිළිබඳව සිතිය යුතුය. සමාජය විසින් අප මත ගොඩගසන ලද සහ අප විසින් අප මතම ගොඩ ගසා ගන්නා ලද බොළඳ සිහියනන්ගෙන් මෑත්ව අප ජිවත්වන සමාජය පිළිබඳව යථාර්ථවාදීව සිතිය යුතුය.

එකී යථාර්තවාදී ලෝකයේ සුපර් ස්ටාර්ලාට වඩාත්, වාරියපොළ ගැහැණු ළමයින්ට වඩාත්, අයිස් බකට් වලට වඩාත්, කාර් රේස් වලට වඩාත් ගැඹුරු සහ සංකීර්ණ අර්බුධයන් පවතින බව අප මනාව තේරුම් ගත යුතුය.

මිනිසෙකු ලෙස ගෙවන දිවියේ අරුත, කෙටිකාලින බොළඳ අරමුණු කිහිපයක් නොවන බව අප සිතිය යුතුය. මිනිස් කමේ සබැ අනන්‍යතාවය සකලවිද ජීවි වර්ගයාටම යහපත් වූ හෙට දවසක් නිර්මාණය කිරීම බව අප සිතිය යුතුය. තවද එකී උත්තම අරමුණට එරෙහි ව ක්ල්ලිවදින මනුෂ්‍ය ප්‍රතිරුපකයන්ට විරුද්ධව අප නැගී සිටිය යුතු බවද අප සිතිය යුතුය. වඩාත් වැදගත් වන්නේ අප අද දින මේ විඳිනු ලබන වරප්‍රසාදයන් අප වෙත ලැබී තිබෙන්නේ අතීතයේ දිනක කවරෙකුහෝ අනාගත පරපුරකට මේ වරප්‍රසාදයන් ලැබිය යුතුයැයි සිතු නිසාවෙන් බව යන්න අප තේරුම් ගැනීමය.

අවසානයේ කීමට ඇත්තේ මේ පීඩාකාරී සමාජ රාමු වලින්, එකී පීඩනයන් මුවාකරනු වස් අප මත ගොඩගසා ඇති කෙටි කලීන බොළඳ අරමුණු ගොන්නෙන් මදක් මෑත්ව යථාර්ථවාදීව සහ සත්‍යවාදීව අපගේ සිතිවිලි ගොනුකළ යුතුය යන්නය. මන්ද එසේ නොවන තාක් අපට අපගේ අනන්‍යතාවය හෝ අපගේ සත්‍ය නිදහස හෝ ලඟා කරගත නොහැකි නිසාවෙනි.

Leave a comment