ගුටි කෑමට නියමිතය

මේ අදහස ප්‍රකාශ කර සිටින්නේ මගේ උවමනාවට සහ මගේ අසාවටය. මෙය කියවීම නිසා කාගේ හෝ සිත් අසහනයක් ඇතිවන්නේ නම් කරුණාකර මෙය නොකියවා සිටිය මැනවි.

සරසවි සිසුන් පිරිසකට පසුගියදා පොලිසිය ඉතා අමානුෂික ලෙස පහර දෙනු දක්නට ලැබීම ඉතා සෝචනීය කාරණයකි. නමුත් වඩාත් සෝචනීය වන්නේ ඒ හා මතුවන අතුරු කතා ටික දුටු විටය. උන්ගේ මතවාද වල උන් අරගල කරන විදියේ බොහෝ ගැටළු ඇත. සමහර විටකදී සිසුන් ගේ බහුතර අදහස් වෙනුවට නායකයන් ගේ අදහස් ක්‍රියත්ම වනවාද, වන්නට පුළුවන.  නමුත් ගැටලුව නම් අවුල් තිබෙන්නේ උන්ගේ අරගලයේ සහ උන්ගේ මතවාදයේ පමණද යන්නය. විටක දේශපාලන පක්ෂයක නායකයා සියලුම සාමාජිකයන්ගේ අප්‍රසාදය මැද වුවද තම බලය අයුතු ලෙස ගෙන බලයේ රැඳී සිටියේය, දැන් මේ ශිෂ්‍ය සංගම් වල තියන අවුල් ගැන බන කියනා පණ්ඩිතයන්ගේ කටවල් එවකට කොහේ තිබුණේදැයි ඇසිය යුතුය. එකී මෙකි නොකී සැම තැනම අවුල් ඇත ඒනිසා සරසවි සිසුන්ගේ අරගල පමණක් පාරිශුද්ධ එකක් විය යුතු යයි දොඩවන්නා වූ අයට කිව යුතු වන්නේ “රෙද්ද තමයි” කියාය.

සරසවි සිසුන්, සරසවියේදී එක් එක් අයියලා විසින් තම දේශපාලන මතවාදයට නම්මා ගෙන මේ සියලු දේම මෙහෙයවනවා යයි දොඩවන්නා වූ පිරිසක් ද සිටයි. ඒ අයට කීමට ඇත්තේ  එසේ  වන්නටද  පුළුවන. නමුත් සරසවි සිසුන් ඒ අයියලාගේ කතා අහන තැනට ඇද දැමුවේ කව්ද යන්නය. සරසවියට ඇතුල් වන තැන දක්වා අපි අපේ දරුවන්ට පෙන්වනෙන් සුරංගනා ලෝකයන්ය. උන් අදහන්නේ රටේ අගනුවර වත් නොදන්නා සුපර් ඉස්ටර්ලාය. උන් අඳින්නේ රටට නිදහස ලැබුන වසර වත් නොදන්නා නිලියන් වගේය උන් love කරන්නට හදන්නේ කොරියන් කතා වගේය. නමුත් උන් සරසවියට ඇතුළු වූ පසු උන්ට නිදාගන්න ලැබෙන්නේ මකුණන් පිරුණු මෙට්ට  උඩය කන්නට වෙන්නේ මෙලෝ රහක් නැති කෑම එකක්ය. කොරියන් කතා වල මෙන් love කරන්නට නොව හුස්මක් ගන්නට වත් ඉඩක් සිලබස්  එක අතර තබා නැත.

අපි විසින් උන් මත ගොඩනගන ලද සුන්දර සිහින බොඳව ගිය පසු උන් අර අයියා ගේ හෝ මේ අයියා ගේ කීම අසා උන්ගේ සිහින වෙනුවන් නොව උන්ගේ අයිතිය වෙනුවෙන් මහමගට ආ කල වරද ශිෂ්‍ය සංගම්වලය. ඒ කිමවල් අසන ලද දරුවන්ගේය. එසේ නැතිව උන්ගේ කර මත, මයා ලොවක් පුරවා ලීමට නිහඬවම හෝ උරදුන් අප වැරදි කරුවන් නොවෙමු. අලුතින් නේවාසිකාගාරයක්  හදන්නට බැරි රජය වැරදි කරුවන් නොවන්නේය. වෙලාවට මහපොළ නොදී ඒවා ප්‍රමාද කරන නිලදාරීන් වැරදි කරුවන් නොවනේය.

සරසවි සිසුන්ට එල්ල වූ සියලු ප්‍රහාර නින්දිතව හෙලා දැකිය යුතුය. ඊටත් වඩා නින්දිතව හෙලා දැකිය යුතු වන්නේ මේ ගැටලුවලින් තම පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට උත්සාහ දරන ජඩ දේශපාලකයන් සහ උන්ගේ අනුගාමික හැත්ත බුරුත්තය.

පසුගිය රජය යටතේ සරසවි සිසුන් ගුටිකනවිට අනේ අපොයි කි අයියලා දැන් තමන්ගේ පක්ෂයේ රජයක් පැමිණි කල කියන්නේ වරද අන්තරේ කියාය. පසුගිය කාලයේ තමන්ගේ පක්ෂයේ රජය යටතේ සරසවි සිසුන් ගුටිකන විට වරද අන්තරේ යයි කියූ උදවිය අද අසන්නේ වෙනස සැපද කියාය.

පසුගිය රජය කාලයේ මෙවන් සිද්දි පිළිබඳව උඩ පැන පැන ප්‍රතිචාර දුන් එක් ඇදුරෙක් ගේ ප්‍රතිචාරයක් ද දුටුවෙමි ඔහු කියා තිබුනේ “මා කුමක් කියන්නද. මට අලුතෙන් කීමට දෙයක් නැත. සිදුවීම සිදුවුනේ මහ දවාලේ නිසා සියල්ල පැහැදිළිය” කියාය. මේවා දකින විට කියන්නට තියෙන්නේ ඇදුරුතුමනි දීපන් ඔය අදුරුකම ළමයෙකුට කියාය.

මිනිසුන් වූ විට අපට දේශපාලන දර්ශනයක් තිබේ එය තමන් කැමති දෙයක් වීමට පුළුවන නමුත් ඒ සියල්ලටම උඩින් මිනිසත් කම තිබිය යුතුය යථාර්තය තිබිය යුතුය. කුමන රජයක් යටතේ වුවද නිදහස් අධ්‍යාපනයට අකුල් හෙලීම අනුමත කල නොහැක කුමන රජයක් යටතේ වුවද තම මතයට විරුද්ධව නැගෙන අදහස් මෙලෙස මහ මග අමු අමුවේ තලා පෙලා දැමීම අනුමත කල නොහැක.

මොකා කොහොම කලත් වරද වරදමය තමාගේ පෞද්ගලික වාසිය නොතකා වරද වරදක් ලෙස දකින්නට අපට තාමත් බැරිය. එසේ යථාර්තය යථාර්තය ලෙස නොදකිනා තාක් කල් අප තවදුරටත් මෙසේ එක එක පක්ෂයේ ආණ්ඩු යටතේදී එක එක විදියට ගුටිකෑම අනිවාර්යයෙන්ම සිදුවන්නකි.

සරසවිය, අපි සහ අපි නොදන්නා අපේ ප්‍රශ්ණ

සරසවියෙන් නික්මයාමට තවත් ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් පමණි. සිව් වසරක සරසවි දිවිය පිළිබඳව වෙන කවරදාටත් වඩා සිතට දැනෙන්නේ මේ කාලය තුළදීය. සිතට දැනෙන දේ පිළිබඳව සටහනක් තැබීම කළයුතුය. අපි අද නික්මයාමට සැරසෙන සරසවිය, එදා අපි පානැගු සරසවියට වඩා බොහොමයක් වෙනස් වී ඇත. අපි පාතැබූ සරසවිය, පොත් පත් ඔස්සේ අපි දැනසිටි සරසවියට වඩා හාත්පසින්ම වෙනස් එකකි. කාලය සමග සියල වෙනස් වී ඇති අරුමය සැබවින්ම අරුමයකි. කෙසේ උවද මේ කෙටි කාලය තුල සිදුවූ වෙනස්කම් පිළිබඳව කෙටි සටහනක් තැබිය යුතුමයයි සිතට නිතර සිතේ.

අපි අසා තිබූ සරසවිය පිරී තිබුනේ පිඩිත පන්තියෙන් මතුවීආ සරසවි සිසුන්ගෙනි. ඔවුන් නිදහස් අධ්‍යාපනයේ අගය සහ අරුත හොඳින්දැනසිටියහ තවද ඔවුන් එහි උන්නතිය සහ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමට තරම් අදහසක සිටියහ. තවද ඔවුන් තමා අවට සිටි සමාජය පිළිබඳව මනා අවභෝදයක සහ හැගීමක සිටියහ. පිඩිත පන්තිකයන් ලෙස අපි අද දින නිදහස් අධ්‍යාපනයේ සුව විඳින්නේ ඔවුන්ගේ ඒ ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙසය.

සරසවි සිසුන් පමණක් නොව සරසවි ඇදුරන්ද, සියල්ලන්ම නැතිවුනත් අතලොස්සක් පමණ වූ දේශපාලකයන්ද මේ නිදහස් අධ්‍යාපනයේ අරුත හොඳින් වටහාගෙන සිටියහ. එසේ නොවනට මෙතරම් විසල් විශ්ව විද්‍යාල පද්ධතියක්, පාසල් පද්ධතියක් හෝ මහපොළ වැනි වටිනා සංකල්ප බිහිවන්නේ නැත. නිදහස් අද්‍යාපනය වෙනුවෙන් දිවිපිදු සරසවි සිසුන් තරමටම එහි අරුත තව තවත් උසස් කරනු උදෙසා කැපවුන සියලුම දෙනා අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කල යුතුය. ඒ අතර සරසවි ඇදුරන් මෙන්ම දේශපාලකයන්ද සිටීම අපිට ගැටළුවක් නොවිය යුතුය. මන්ද උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරක් ලෙස සුදුස්සාට සුදුසු තැන දීමට අපේ සිත් නිහතමානී විය යුතුය.

අප කියවා අසා ඇති පරිදි එදා සරසවියට ඇතුළුවූ බොහොමයක් සරසවි සිසුන් වටා බොහෝ ගැටළු පැවති ඇත. විටෙක එය ආර්ථියක ගැටළුවක් විය තවත් විටක එය සමාජීය ගැටළුවක් විය. කෙසේ වෙතත් එකී සරසවි ප්‍රජාව බොහෝ දුක් ගහට මැදින් බලාපොරොතු ගොන්නක් පොදි බැඳ සරසවියට පිවිසුන බැව් නම් පැහැදිලිය. සමාජයේ ඇති ගැටළු සහ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව ඔවුන්ට අමුතුවෙන් කියාදීමට දෙයක් තුබුණේ නැතිබවද පැහැදිලිය.

කාලය ගතවෙත්ම සරසවියට පැමිණි සිසුන්ගේ පසුබිමේ සහ ඔවුන්ගේ ආකල්පවල පැහැදිලි වෙනසක් දැකිය හැක. අපි කියවා අසා තිබු සරසවියෙන් දැන් පවතින සරසවිය වෙනස් වෙන්නේ ඒ නිසාවෙනි. එදා සරසවිය පුරා පැතිර තිබු පිඩිත පාන්තික සරසවි සිසු පරපුර වෙනුවට අද දක්නට ඇත්තේ ඉහල පාන්තික සරසවි සිසු පිරිසකි. එය එසේ වන්නට ප්‍රබල හේතුවක් පවතී. එනම් පාසල් අධ්‍යාපනයේ බිඳ වැටීමය.

පාසල් අධ්‍යාපනය බිඳ වැටීමත් සමග නැගී ආ උපකාර පන්ති රාමුව යටතේ උසස් පෙළ විභාගය ඉහලින් සමත් වීමට තරම් වූ හොඳ අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය මුල්‍යමය පසුබිම හිමි වන්නේ ඉහල අදායම් මට්ටමක් පවතින පවුල් වලට පමණි. බහුතරයක් වූ අඩු ආදායම් පවුල් වල දරුවන්ට අත්වුයේ බිඳ වැටුන පාසල් අධ්‍යාපන ක්‍රමයකින් අකුරු කිහිපයක් ඉගෙනගෙන අසමතුලිත අධ්‍යාපන තරගයක තරග වදින්නටය.

සියල්ලේම අවසන් ප්‍රතිපලය වන්නේ සරසවි අධ්‍යාපනය රටේ එක්තරා සිමා සහිත කොටසකගේ පමණක් වරප්‍රසාදයක් වීමය. අවශ්‍ය ප්‍රමාණයට අධ්‍යාපනය උදෙසා මිල මුදල් විය පැහැදම් කල නොහැකි ජනකොට්ටාශය දිනෙන් දිනම අධ්‍යාපනයෙන් ඉවත් වන අතර ඒ නිසාවෙන් ඔවුන් තව දුරටත් දරිද්‍රතාවයේ පත්ලට ම කිඳා බසින අතර, අධ්‍යාපනයේ වරප්‍රසාදය හිමි වුවන්ගේ ජීවන තත්වය දිනෙන් දිනම ඉහල යෑම අද සමාජයේ බොහෝ හොඳින් දක්නට ඇති කාරණයකි.

ඉහත දැක්වුණ පරිදි අද වනවිට සරසවිවල සිටින්නේ එක්තරා ආකාරයකට තමන්ගේ දෙමාපියන්ගේ මිලමුදල් මත අධ්‍යාපන වරප්‍රසාදයන්ට හිමිකම් කියන පිරිසකි. එවන් සිසු පිරිසකගෙන් නිදහස් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා හෝ අධ්‍යාපන අයිතීන් අහිමිව යන මිනිසුන් පිරිසක් වෙනුවෙන් හඬක් නැගීම බලාපොරොත්තු විය නොහැක්කකි.

ඔවුන්ගේ සිහින රාජ්‍යයේ ඇත්තේ හොඳ නිවසක්, හොඳ පඩියක් සහ රුවැති බිරිඳක් පමණි ඉන් එහා ලෝකයක් කිසිවෙක් දන්නේ නැත, සිතනේද නැත. උක්ත අරමුණු ජිවිතයට පැවතීම ගැටළුවක් නොවේ නමුත් වරප්‍රසාද ලද්දාවූ මිනිසුන් පිරිසක් ලෙස මේ සකලවිද සමාජ ක්‍රමයම කෙරෙහි අප සතුවද වගකීමක් පවතිනබව අප සිහියේ තබාගත යුතුය.

සරසවි සිසුවාගේ වත්මන් වෙනස්වීමට බොහෝදෙනා හේතු ලෙස දක්වන්නේ සමාසික අධ්‍යාපන ක්‍රමයයි එසේත් නැත්නම් ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවිවල බලපෑමයි. මේ සියලගේම බලපෑමක් නැතිවා නොවේ. නමුත් අපි වඩාත් අවධාරණයෙන් සිහිය තබාගත යුත්තේ වත්මන් සරසවි සිසුවාගේ මේ වෙනස්වීම මහා සමාජ ආර්ථික කේදවාචකයක එක් නිරුපනයක් පමණ බවය.

සරසවි සිසුන්ගේ මේ වෙනස්ව්ම සුළුකොට තැකිය නොහැකි වන්නේ මේ නිසාවෙනි. මන්ද මේ සමාජ කේදවාචකයේ කෙලවර අප කිසිවෙකුවත් නොදන්නා නිසාවෙනි. මිනිසුන් සැමදාටම මෝඩයන් කල නොහැක. පාලකයන් එය තේරම් ගත යුතුය. මෝඩ මිනිසුන් සහ සමාජ කේදවාචකයන් පවතින තාක් පාලකයන්ට බොහෝ පහසුවෙන් සමාජයක් පාලනය කල හැක. නමුත් අවාසනාවට කරුණ නම් මෙකී සමාජ කේදවාචකයකයන් කොයිමොහොතේ පාලනය කල නොහැකි තත්වයකට පත්වේදැයි කිසිවෙකුට අනාවැකි පලකල නොහැකි නිසව්නි.

මේ සමාජ කේදවාචකයද ඒ අයුරින්ම ඉතාමත් භයානක තත්වයේ පවතින එකකි. සමාජය තුල බෙදීමක් පවතින තාක් පාලකයන්ට ඒ සමාජය රිසිසේ නොමග යැවිය හැක. නමුත් එය පාලනය කල නොහැකි අදියරකට පැමිණි විට සිදුවන්නේ මහත් විනාශයකි. තිස් වසරක් පුරා අප දුක්විඳි යුද්ධයද එවන් පාලකයන් විසින් නිර්මිත සමාජ කේදවාචකයක පාලනය කරගත නොහැකිවූ අවස්ථාවකි. දමිල සහ සිංහල පාලකයෝ තමන්ගේ පාලන උවමනාවන් උදෙසා මිනිසුන් තුල ජාතිවාදය වපුරවන ලද්දේය. අවසානයේ සිදුවුයේ ඔවුන් විසින් නිර්මාණය කොට පෝෂණය කල ඒ සමාජ කේදවාචකය එකී පාලකයන් පමණක් නොව තවත් පරම්පරා ගණනාවක අහිංසක මිනිසුන් සිය දහස් ගණනකෙගේ ජිවිත බිලට ගැනීමය.

අද අපේ රටේ පාලකයන් උත්සාහ කරනුයේද එවන් වූ සමාජ කේදවාචකයකින් අයුතු පල නෙලගැනිමටය. අධ්‍යාපනයේ විෂමතාවයක් පවතින තාක් සමාජය තුල දිනෙන් දිනම ගැටළු උද්ගත වනු ඇත. සුපර් ස්ටාර් උන්මාදයෙන්ද, වාරියපොළ උන්මාදයෙන්ද, ෆේස්බුක් හරහා වන සමාජ අපචාරයන්ගෙන්ද පිළිබිඹු වන්නේ නුගත් කම හරහා ගොඩනැගෙන සමාජ අර්බුදයන්ය. මෙහිදී උගත් කම යනු කියවීමට හා ලිවීමට ඇති හැකියාව හෝ විද්‍යා ගණිත හැකියාවන් පමණක් නොවන බව තරයේ සිහි තබාගත යුතුය. තවත් බොහෝ දෑ උගෙනුමට. ඇත අවාසනාව නම් අද බොහෝ දෙන මේ අතිරේක දැනුම් සම්බාරයෙන් බොහොමයකට දේශපාලන ලේබලය අලවා උගෙනුමට සුදුසු නැතැයි හංවඩු ගැසීමය. එසේත් නොමැතිනම් ඒවා රැකියා ලබාගැනීමට උපකාරී නොවෙතැයි හංවඩු ගසා අනාගත පරපුරෙන් ඈත්කොට තැබීමය.

වඩා ගැඹුරුම සමාජ කේදවාචකය නම් මේ සියල්ල තේරුම් ගත යුතු සරසවි සිසුවාද මේ සමාජ ක්‍රමයේම ගොදුරක් බවට පත්ව මේ කිසිවක වත් නිනව්වක් නොමැතිව සරල ආතල් ජිවිතයක් ගත කිරීමට පෙළබි සිටීමය. ජීවිතය සරල නැතිබවත් ආතල් පමණක් එහි නැතිබවත් තේරුම්ගෙන සකල විද සමාජයකට ඒ යථාර්තය තේරුම් කර දිය යුතු සරසවි සිසුවන් ගේ වත්මන් හැසිරීම දුටුවිට සිතට දැනෙන්නේ මහත් කලකිරීමකි.

මුළුමහත් සමාජයම විනාසකොට දමන සමාජ කේදවාචකයක පෙරනිමිති දැන් දැන් පහල වෙමින් පවතී. වහා එය අවභෝද කොට එයට පිළියම් සෙවීම වහ වහා කලයුතුය එස් නොමැතිනම් අපිද එකී සමාජ කේදවාචකයට ගොදුරුව විනාශව යනු නොඅනුමානය

නොසිතා පැවතීම, පැවතීමට සිතීම සහ අපි

පේරාදෙණිය සරසවිය යනු දිවිය තුල මහත් වූ මතකයන් ගොන්නක් එක්තන් කල සොඳුරු සරසවි බිමකි. සිවු වසරක සරසවි දිවිය නිමවිඉමට තවත් ඇත්තේ කෙටි කලසීමාවකි. සරසවියෙන් නික්ම යාමට නොබෝදිනක් තිබියදී පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨය මගින් සංවිධානය කල වේදිකා නාට්‍යයක් සිතට ගෙන ආවේ අපූර්ව හැඟීමකි. ප්‍රථමයෙන්ම විද්‍යා පීඨයේ සහෝදරයන්ගේ ඒ අගනා උත්සාහයට මාගේ ගෞරවය පුදකරමි. ඔබ කිසිදිනෙක මේ වේදිකා නාට්‍යය නරඹා නොමැතිනම් ලැබෙන ප්‍රථම අවස්ථාවීදීම එය නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි.

නාට්‍යයේ නම් “ගුටි කෑමට නියමිතයි” ලෙස සටහන් කල හැක. පුරා පැය 1 ½ තුල දිවෙන නාට්‍යයේ ඇත්තේ චරිත තුනකි. පසුතලයේ සුළු සුළු වෙනස්කම් සිදුවුවද නාට්‍යය පුරාවටම තිබුනේ එකම පසුතලයක් පමණක් යැයි කීමටද පුළුවන. නමුදු කිසිදු වෙහසක් නොමැතිව නැරඹිය හැකි අපූර්ව නාට්‍යයකි. මගේ අරමුණ නාට්‍යය පිළිබඳව විචාරයක් කිරීමට නොවේ. එය ඔබ සිය දෑසින්ම නරඹන්නේ නම් මැනවයි මම සිතන්නෙමි.

කෙසේ උවද නාට්‍යයේ අර්ථය පිළිබඳව නම් මදක් කතා නොකර බැරිය. නාට්‍යයට පූර්වයෙන් බෙදාහැරුණු පත්‍රිකාවක මෙසේ සටහන් වී තිබිණි “නොසිතමි එහෙයින් පවතමි, ජීවිතය යනු එයද ?”. සැබවින්ම මේ ප්‍රශ්නය අප විසින්, අප වෙතින්ම විමසිය යුතු කාලය දැන් එළඹ ඇත. දැන් දැන් අප, හෙට දිනයට පා තබන්නනේ නොසිතීම යනු අපේ පැවැත්ම කරගෙනය. නමුත් අප විසින් විමසිය යුතුව ඇත්තේ සැබවින්ම ජීවිතය යනු එයමද යන්නයි.

එකම භෞමික මායිමක දිවිගෙවන අනෙක විද වෙනස්කම් වලින් යුතු පරිසකගේ එකතුවක් වන අපි දැන් දැන් එළඹෙමින් පවතින්නේ නොසිතා දිවි ගෙවන ජීවන රාමුවකටය. අපිට අපගේ අනන්‍යතාවය අමතකව ගොස් ඇත. අපි මිනිසුන් බවත් සකලවිද සත්වයන්ගේ යහපත් වූ හෙටදිනක් උදෙසා කැපවීම මිනිසත් කම බවත් අප අමතක කර ඇත්තෙමු. තවද එවනක් පැවති බව ගැන සිතීමම, පැවැත්මට අයහපත් වෙතැයි සිතෙන නිසාවෙන් අපි ඒ පිළිබඳව සිතීමද අතහැර දමා ඇත්තෙමු.

අනේකවිද බලවේගයන් විසින් එකී බලවේග වල උවමනාවන් ඉටුකරගැනීම සඳහා අප නොයෙක් ආකාරයෙන් භාවිතා කිරීමට එකී බලවේගයන්ටම ඉඩදී අප කිසින් නොසිතා පවතින්නෙමු. අපි කිසිත් නොසිතා එකී බලවේගයන්ගේ වෙගරිද්ම නාදයට සිත්සේ පාද අල්ලමින් කිසිත් නොසිතා නටමින් ගයමින් වයමින් සිටින්නෙමු. අප වටා නැගෙන ගිනිදැල් වල ආශ්වාදය විඳිමින් එකී ගිනිදැල්වලින් අප දිනෙක දවී අළු වී යන බව නොසිතා සිටින්නෙමු.

නිදහස් අද්‍යාපනය බිඳවැටෙන විටද, නිදහස් සෞඛ්‍යය බිඳ වැටෙන විටද, නිදහසේ ජීවත් වීමේ අයිතිය පවා අහිමිවී යන විටද අපි කිසිත් නොසිතා පවතින්නෙමු. පාහරයෝ සහ අවජතකයෝ අපගේ දුවනියන් සමග වේදිකා මත යහන් ගතවන විට අපි කිසිත් නොසිතා පවතින්නෙමු. මේ කිසිත් ගැන නොසිතා අපි නිදහසේ පාවෙන සියුම් සමනල දිවියක් ගත කරන්නෙමු. අපි සුපර් ස්ටාර්ලාට එස් එම් එස් ගසන අයුරුද ඔවුන් ගේ සුමියුරු ගී හඬ ගැනද සිහිකරමින් සිටින්නෙමු. නමුත් අපි කිසිම දිනෙක අප විසින් පත්කර යවන එකදු නායකයෙකුගෙන් අප බලාපොරොතු වන්නේ කුමක්ද ඒවා නිසි ලෙස ඉටුවෙනවද යන්න ගැන මොහොතකට වත් නොසිතනෙමු.

ආගම් වාදින්ගේත්, ජාති වාදින්ගේත්, දේශපාලන කල්ලි වාදින්ගේත් අනේක විද මුලාවන් වල පැටලෙමින් එකම බිමක වෙසෙන සහෝදරයන්ගේම ලේපිපසාවෙන් පෙලෙන්නෙමු. නමුත් එකී ජඩයන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන අපි කිසිත් නොසිතා සිටින්නෙමු.

වරද ඇත්තේ අප සිතන්නට දන්නේ නැති කම නොව, වරද ඇත්තේ අපි සිතන දේවල් වලය. විරැකියාවෙන් පෙළෙන තරුණයෙක් තමන් මේ තත්වයට වැටුනේ මන්ද සහ එයින් මිදෙන්නේ කෙසේද යන්න සිතනු වෙනුවට අද සිතන්නේ රැකියාවක් ලබා ගැනීමට කුමන දේවාලයට යා යුතුද යන්නය. අධ්‍යාපනයේ අවස්ථා අහිමි වන්නෙකු ඒ අවස්ථාව දිනා ගැනීම පිළිබඳව සිතනු වෙනුවට සිතන්නේ සුපර් ස්ටාර්ට් කෙනෙකු වන ආකාරය පිළිබදවය. අධ්‍යාපනයේ මහඟු පල නෙලාගත්තෙකු තමන් උගත් දැණුම තුලින් සමාජය යහපත් වූ මානයකට ගෙනයෑමට සිතනු වෙනුවට අද සිතනෙනේ නිර්දේශපාලනීකරණය වීම නැතහොත් අලයෙක් සේ පාඩුවේ ජිවත් වීම පිලිබඳවය.

අපගේ ලෝකය, අපගේ සිරුර පමණක් වෙන තරමටම අපි මානසිකව මමත්වය කෙරෙහි ළගුව සිටින්නෙමු. තමන්ට ආතල් එකක් නොමැති කිසිවක් ගැන නොසිතීමට අප පුරුදුව ඇත. අතිතෙන්ම කියතොත් එසේ සිතීමට අපව මේ සමාජ යාන්ත්‍රණය විසින්ම පුරුදු කර ඇත්තේය .

පැවැත්ම උදෙසා අප විසින් ගොඩනගන ලද නොසිතීමේ මන්මුලාව අපගේ හෙට දවස මහත් අඳුරකට ඇද දමන බව අප විසින් වටහාගත යුතු කාලය එළඹ ඇත. අප වටා පවතින ලෝකය ගැන නොසිතීම තව තවත් අප අඳුරෙහිම ගිල්වන බව අප දැන් පසක් කර ගත යුතුව ඇත. කෙටියෙන්ම කියතොත් දැන්වත් අප සිතන්ට පටන් ගත යුතුය. අප වටා ඇති පරිසරය පිළිබදවද එහි වෙසෙන අනේක විද මිනිසුන් ගැනද අපගේ අනන්‍යතාවය පිළිබදවද අපි සිතිය යුතුය.

විරැකියාවෙන් පෙළෙන්නෙක් ඒ පිළිබඳවද, එයට හේතුවූ සමාජ ක්‍රමය පිළිබදවද, අධ්‍යාපන අයිතිය අහිමි වූවෙක් ඒ පිළිබඳවද, අධ්‍යාපන අයිතිය ලැබුවෙක් එය තව දුරටත් පවත්වා ගැනීම පිලිබදව සිතිය යුතුය. කෙටියෙන්ම කියතොත් අප විසින් යථාර්තය පිළිබඳව සිතිය යුතුය. සමාජය විසින් අප මත ගොඩගසන ලද සහ අප විසින් අප මතම ගොඩ ගසා ගන්නා ලද බොළඳ සිහියනන්ගෙන් මෑත්ව අප ජිවත්වන සමාජය පිළිබඳව යථාර්ථවාදීව සිතිය යුතුය.

එකී යථාර්තවාදී ලෝකයේ සුපර් ස්ටාර්ලාට වඩාත්, වාරියපොළ ගැහැණු ළමයින්ට වඩාත්, අයිස් බකට් වලට වඩාත්, කාර් රේස් වලට වඩාත් ගැඹුරු සහ සංකීර්ණ අර්බුධයන් පවතින බව අප මනාව තේරුම් ගත යුතුය.

මිනිසෙකු ලෙස ගෙවන දිවියේ අරුත, කෙටිකාලින බොළඳ අරමුණු කිහිපයක් නොවන බව අප සිතිය යුතුය. මිනිස් කමේ සබැ අනන්‍යතාවය සකලවිද ජීවි වර්ගයාටම යහපත් වූ හෙට දවසක් නිර්මාණය කිරීම බව අප සිතිය යුතුය. තවද එකී උත්තම අරමුණට එරෙහි ව ක්ල්ලිවදින මනුෂ්‍ය ප්‍රතිරුපකයන්ට විරුද්ධව අප නැගී සිටිය යුතු බවද අප සිතිය යුතුය. වඩාත් වැදගත් වන්නේ අප අද දින මේ විඳිනු ලබන වරප්‍රසාදයන් අප වෙත ලැබී තිබෙන්නේ අතීතයේ දිනක කවරෙකුහෝ අනාගත පරපුරකට මේ වරප්‍රසාදයන් ලැබිය යුතුයැයි සිතු නිසාවෙන් බව යන්න අප තේරුම් ගැනීමය.

අවසානයේ කීමට ඇත්තේ මේ පීඩාකාරී සමාජ රාමු වලින්, එකී පීඩනයන් මුවාකරනු වස් අප මත ගොඩගසා ඇති කෙටි කලීන බොළඳ අරමුණු ගොන්නෙන් මදක් මෑත්ව යථාර්ථවාදීව සහ සත්‍යවාදීව අපගේ සිතිවිලි ගොනුකළ යුතුය යන්නය. මන්ද එසේ නොවන තාක් අපට අපගේ අනන්‍යතාවය හෝ අපගේ සත්‍ය නිදහස හෝ ලඟා කරගත නොහැකි නිසාවෙනි.

වීසා, ගුවන් ටිකට් පත් සහ විස්සේ බත්එක.

ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ බුද්ධිය පිලිබදව පුදුම සිතෙන ආකාරයේ පුවතක් පසුගිය දිනෙක ජාතික පුවත් පතක දක්නට ලැබිනි. ( මේ මුද්‍රණය කරන ලද කොල කැබලි වලට ජාතික පුවත්පතක් යැයි කිව හැකිද යන්න වෙනම සලකා බැලිය යුතු කාරණයක් වුවත් ඒ පිලිබදව මදකට අමතක කොට දමමු). ඒ පුවත් පතට අනුව මේ තීරණය ගෙන ඇත්තේ අපගේ ආදරණීය සුදුබන්ඩා ඇමති තුමාය. එතුමාගේ දර්ශණය අනුව අපගේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදැරීමට එන විදෙස් සිසුන්ට ඉහල මට්ටමේ සහන ලබාදීමට ඒ මහතා සැදී පැහැදී සිටින්නේය.

මේ විදෙස් සිසුන්ට සුඛ විහරණ සැලසීමේ ප්‍රථම පියවර ලෙස ‍අපේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නට එන විදෙස් සිසුන්ට නොමිලේ වීසා ලබාදීමටද, එසේ පැමිනෙන සිසුන්ට නොමිලේ ගුවන් ටිකට් පත් ලබා දීමටද අපගේ සුදු බණ්ඩා මහතා සූදානම්ය. එම පුවත් පත වාර්ථා කරන අන්දමට මෙය සිතිජයට උඩින් ලෝකය දකින සරසවි සිසු පරම්පරාවක් බිහි කිරීමේ සුදු බන්ඩා මහතාගේ දැක්මේ ආස්චර්යමත් ප්‍රතිපලයක්ය.

සුදු බන්ඩා මහතාගේ මෙවන් විකාර තීරණ දුටුවිට සිතට නැගෙන්නේ අපමන කනගාටුවකි. එසේ කනගාටු සිතෙන්නේ අන් කිසිවක් ගැන නොව මේ රටේ අනාගතය ගැනය. සුදු බන්ඩා මහතාලා මේ හිතුමතේ නාස්ති කරන්නේ තවත් ලාංකික සිසු දරුවන් පිරිසකට නිදහස් අධ්‍යාපනයේ අග්‍රපලය වන සරසවි අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාවන්ය. මෙරටේ සිටින දහස් ගනන් දරුවන් සරසවියට යාගත නොහැකිව ලතවෙනවිට ඒ සිසුන්ට ඉගැන්වීමට ඇති මුදල් මෙසේ නාස්ති කරීමට කොයිතරම් දුරට අපට එකග වීමට හැකිදැයි ගැටලුවක් පවතී.

සුදු බන්ඩා මහතා ගේ මේ විදෙස් සරසවි සිසුන් සංකල්පය මුල සිට සලකාබැලීම වටින්නේ යැයි සිතේ. මුලින්ම එතුමා කලේ අපේ සිසුන්ට සරසවියට ඒමට තිබූ අවස්ථාගොන්නක් විදෙස් සරසවි සිසුන්ට වෙන් කරනවා යැයි කියා කප්පාදුකර දැමීමය. එසේ කරමින් ඒ මහතා මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ මේක අපේ විශ්ව විද්‍යාල කොල්ලන්ට, කෙල්ලන්ට සුද්දන් සහ සුද්දියන් සමග ආතල් ගැනීමට ඇති හොද අවස්ථාවක් බවය. නුදුරු අනාගතයේ අපේ විශ්ව විද්‍යාල තුල අපේ කොල්ලන් සුද්දියන් සමගද අපේ කෙල්ලන් සුද්දන් සමග අතිනත ගෙන ඇවිද යනු ඇතිබවටද එතුමා ප්‍රසිද්දියේ කියා සිටියේය. ඒ ප්‍රකාශය අසා සිටි මට නම් සිතුනේ සුදුබන්ඩා මහතාට යමි විකෘති ලිංගික ආශාවක් ඇති බවය(එතුමා මීට පෙර අවස්තාවකද විරුද්ධ දේශපාලණ පකෂයක සිටි ගැහැණියක් ජංගිය පිටින් පාරේ ඇවිද්දවිය යුතුයැයි වෙදිකාවක උඩ නැගගෙන තලු මර මර කියූ හැටි මතක් වනවිට මගේ ඒ නිගමනයේ වරදක් නොමැති යැයිද සිතේ).

දැන් එතුමා දැනට සිටින විශ්ව විද්‍යාල සිසුන්ට වියදම් කිරීමට ඇති මුදලින් කොටසක් ඒ එන විදෙස් සිසුන්ට වීසා ලබා දීමට සහ ගුවන් ටිකට් පත් ලබාදීමට වියදම් කරන්ට සැරසෙයි. සමස්ථ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියම උග්‍ර සම්පත් හිගයක ගිලෙමින් පවතින මොහොතක මෙවන් තීරණයක් කෙතරම් සාධාරණද යන්න අපි සිතාබැලිය යුත්තෙමු. මේ වසරේ සරසවියට බදවාගත් සිසුන් ගනන ඉහල ගිය නිසා(අධිකරණ තීන්දුව නිසා) දැන් විශ්ව විද්‍යාල තුල සම්පත් හිගය බොහෝසේ උග්‍ර වී ඇත. දේශණ ශාලා හිගය නිසා විශ්ව විද්‍යාල වල ආපනශාලා වලින් කොටසක් දේශණ ශාලා කිරීමට සහ ක්‍රීඩා ගාරය පවා දේශන ශාලාවක් බවට පත්කරවීමට දැන් දැන් විශ්ව විද්‍යාල වලට සිදුවී ඇත. දැන් සවස දේශණ අවසන් වනතෙක් ක්‍රීඩාගාරයට ඇතුල්වීමට නොහැක. අකමැත්තෙන් වුවද පිලිගතයුතු සත්‍ය එයය.

මේ විදෙස් සරසවි සිසුන්ගේ පැමිණීම හුදෙක් මිත්‍යාවකි. මෙවන් අධික සම්පත් හිගයක් පවතින විශ්ව විද්‍යාල පද්ධතියකට විදෙස් සරසවි සිසුන් අධ්‍යාපනය උදෙසා පැමිනේද යන්න ප්‍රධාන ගැටලුවයි. එසේ එනවානම් එන්නේ මීටත් වඩා අධ්‍යාපනට අඩු පහසුකම් සහිත රටක සිසුන් විය යුතුය. නමුත් එවන් රටවල් ඇත්තේ අතලොස්සක් පමනක් බව අපි සියලු දෙනා දන්නා කරුනකි. තවද අප කලාපයේ එවන් ර‍ටවල් සොයා ගැනීම අපහසුය. එවන් රටක් පැවතියද. ඒ රට වල සිසුවන් උත්සාහකරන්නේ පහසුකම් ඇති කලාපයේ වෙනත් රටකට යෑමට මිස උග්‍ර සම්පත් හිගයකින් පෙලෙන මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් වීමට නොවේ. විදෙස් සිසුන්ට මෙහි පැමිනෙන්න යැයි සුදුබන්ඩා මහතා ආරාධනා කොට දැන් වසර දෙකක් ගතවීඇත. නමුත් අඩුම තරමේ විදෙස් සිසුන් 10 ක් වත් එක විශ්ව විද්‍යාල යක‍ට නොමැත. නමුත් ඔවුන්ගේ අපේකශාවෙන් වෙන්කරන ලද සරසවි ප්‍රවේශ වීමේ ‍අවස්ථා මේරටේ සිසුන්ට නැවත ලැබෙන්නේ නැත. ඒ සරසවි ප්‍රවේශ අවස්ථාවන් නිරපරාදේ විනාශවීයයි.

මේ විදෙස් සිසු ජාවාරම සුදු බන්ඩා මහතාගේ තවත් එක් මඩිය තරකරගැනීමේ ව්‍යාපෘතියක් පමනක් ලෙස හදුන්වා දිය හැක්කේ මේ නිසාවෙනි. මෙලෙස විදෙස් සරසවි සිසුන්ට සැප දීමට වෙන්වන මුදල් අවසානයේ නවතින්නේ කාගේ සාක්කුවලදැයි අපි දන්නෙමු. තවද මේ රාජ්‍ය විශ්ව විද්‍යාල සිදුවන පහසුකම් කප්පාදුව නිසා තව තවත් මේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය බිදවැටීමක් මිස ගොඩනැගීමක් නම් සිදුනවන්නේ නැත. විශ්ව විද්‍යාල පද්ධතිය දිනෙන් දින අවුලෙන් අවුලට පත්වෙත්දී ඒ විශ්ව විද්‍යාල සදහා වෙන්කල යුතු මුදල් කිසිදු අනාගත ප්‍රථිපලයක් නොමැති නිරර්ථක ක්‍රියාවක් වෙනුවෙන් වියදම් කරමින් සුදු බන්ඩා මහතා උපාධි කඩ ප්‍රමෝට් කිරීමේ ක්‍රියාවලියකද නියුතුවෙමින් සිටි.(පෞද්ගලික විශ්ව විද්‍යාල මෙ රටේ නැත. මේ රටේ ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ උපාධි කඩ යන දෙපාර්ශවය පමනි).

දහසකුත් එකක් අපහසුතාමැද වුවද සෑම වසරකදීම අපේ විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන් අන්තර්ජාතික මට්ටමේ විවිධ තරගාවලීන්ගෙන් අප රටට විශාල ජයග්‍රහණ ගෙනෙමින් සිටිති. නමුත් කිසිවෙකුට ඒ කිසිවක් පෙනෙන්නේ නැත. අපේ සරසවි සිසුවෝ වසරක් පාසා නොයෙකුත් නව නිර්මාණයන් බිහිකරති නමුත් ඒ කිසිවක් ගැන සුදු බන්ඩා මහතාට වගක් නැත. ඔහුගේ උනන්දුව පවතින්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල ලද්ධතිය අකර්මණ්‍ය කොට පුද්ගලික උපාධි ක‍ඩ හුවා දක්වා අවසානයේ මේ රාජ්‍ය විශ්ව විද්‍යාලද තමාගේ ව්‍යාපාරික හිතවතෙකුට විකුණා තමාගේ මඩිය තරකර ගැනීමටය.

දුෂ්කරවූ ප්‍රදේශයක සිට විශ්ව විද්‍යාල වරම් ලබා ඒ විශ්ව විද්‍යාල වරම නිසා තමාගේ මුලු මහත් දිවියම ගොඩනගාගත් මිනිසෙක් තමන් අද ගතකරන දිවිය තමන්ට ලබාදුන් ඒ විශ්ව විද්‍යාල පද්ධතියම මුදලට විකුනාදැමීමට සූදානම් වීම දැකීම පවා පිලිකුල් සහගතය. සිංහල වදන්පෙලේ මෙවන් ක්‍රියා වලට පසවන්නේ “කාපු බතේ පහරනවා” කියාය. සාමාන්‍යයෙන් කාපු බතේ පහරන්නේ බල්ලන්ය.

සිදුවන ක්‍රියා දෙස විමසිලිවත්ව බැලූකල සුදුබන්ඩා මහතාගේ යටි අරමුණ පැහැදිලිය. මේරටේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩා බිද දමා එය මුදලට විකිණීම එතුමාගේ එකම අරමුණ වී ඇතිබවට සැකයක්නැත. විදෙස් සරසවි සිසුන් ගැන මවාපාමින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ලැබිය යුතු පහසුකම් කප්පාදුකරමින් මේ සැරසෙන්නේ මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල විකුණාගෙන කෑමටය.

බහුතරයක් වූ මෙරට මධ්‍යම සහ අඩු ආදායම් ලබන ජනතාව ලෙස අපි මේ වාතාවරණය පැහැදිලිව තේරුම් ගත යුතුව ඇත්තෙමු. අනාගතයේ මේ ලෝකයේ මිනිසුන්ගේ ජීවිතය තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා සතු අධ්‍යාපන මට්ටම අනුවය. කෙටියෙන්ම කියතොත් අනාගත ලෝකයේ කේන්ද්‍රීය සාධකය වන්නේ දැණුමයි. එවන් ලෝකයක දැණුමට ඇති ඉල්ලුම ඉතා අධික වනුඇති අතර දැණුම ලබාගැනීමද අධික වියදම් සහගත වනුඇත. දැනට අපිට ඇති නිදහස් අධ්‍යාපනය විනාශව ගියහොත් අපගේ අනාගත පරම්පරාවන්ට සිදුවන්නේ දැණුමෙන් අන්අයගේ වහලුන් වන්නටය.

මේ රටේ බහුතරයක් ජනයා දිගින් දිගටම නිහඩව සිටින්නට වුවහොත් දේශපාලුවාගේද, කුඩුකාරයාගේද දරුවාට පමනක් උපාධියක් හිමිවන යුගය වැඩි ඈතක නොවේ. එවිට බහුතරයක් වූ අපිට සහ අපේ දරුවන්ට සිදුවන්නේ එවුන්ගේ වහලන් වන්නටය. එසේ නොමැතිව තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට නම් තාත්තලාට කුඩු විකුණන්නටද අම්මලාට ඇග විකුණන්නටද සිදුවීම වැලැක්විය නොහැකිවනු ඇත. අනාගතය වෙනුවෙන් නැගීසිටීමට මේ හොදම කාලය බව මගේ වැටහීමයි. අපේ දෑස් බැද දමා ඇති කඩතුරා ඉවත්කොට විවෘත මනසකින් අපි ලෝකය දෙස බැලිය යුතුව ඇත්තෙමු. මේ මොහොතේදී අපි එසේ කරන්නට ප්‍රමාදවන්නේ නම් නුදුරේදීම අපි එක එකාගේ සපත්තුවට පෑගෙන පීඩිත ජාතියක් බවට පත්වීම වලැක්විය නොහැකිවනු ඇත.

කුලියට මිනී මරන්නෝ……………

මොරටුව විශ්ව විද්‍යාලයේ ලාංඡනය සහිත චායාරූපයක රත් පැහැ ලේ බිදක් සනිටුහන්ව ඇත. ඒ අන් කවරෙකුගේ වත් ලේ නොව පසුගිය දිනෙක NDT සිසුන් පිරිසක් අතින් අමානුශිකව පහර කෑම්වලට ලක්වූ ඉන්ජිනේරු පීඨ සිසුන්ගේ හිසින් ගලා ගිය රුධිරයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි සියලු දෙනාම මේ ම්ලේඡ්ච ප්‍රහාරය හෙලා දැකිය යුතුව ඇත්තෙමු. මෙවන් අමානුශික ප්‍රහාරයක් සාධාරණීකරනය කල හැකි මනුශ්‍යයෙක් මේ ලොවතුල සිටී යැයි මම නොසිතමි. යමෙක් මේ ප්‍රහාරය දෙස බලා උදම් අනන්නේ නම් හෝ සතුටු වන්නේ නම් ඒ මිනිසෙක් නොව ආත්මය ජරාජීර්නවූ පාදඩ බල්ලෙකි, අසමජ්ජාතියෙකි, මුලුමහත් මිනිස් වර්ගයාටම කැළලක් ගෙනෙන් නා වූ මිත්‍ර ප්‍රතිරෑපකයෙකි.

වසර ගනනාවක් තිස්සේ මොරටු විශ්ව විද්‍යාලය තුල පැවති මේ අර්බුධය දැන් පුපුරා එහි තුවාල වලින් ලේ ගලමින් පවතී. දැන්වත් මේ අර්බුධය විසදිය යුතුය මේ ගැටුම තුල තවත් එක් ලේ බිදක් වත් මොරටුව විශ්ව විද්‍යාල භූමිය තුල නොහෙලිය යුතුය. මේ සිද්ධිය සම්බන්ධව මේ තරම් හැගීමෙන් කතාකරන්නේ මේ අර්බුධයේ කලු පැල්ලම් ඉතිරි වන්නේ මොරටුව විශ්ව විද්‍යාල භූමියේ පමනක් නොවන නිසාවෙනි. මේ මිලේඡ්ච ප්‍රහාරයේ කලු පැල්ලම් සමස්ථ විශ්ව විද්‍යාල පද්දතිය තුල පමනක් නොව මුලු මහත් ලාංකික ඉතිහාසය පුරා සදා නොමැකෙමින් පවතින නිසාවෙනි.

පසුගිය දිනෙක ඇතිවූ මේ පහර දීම දෙස බලන විට සහ ඒ ආශ්‍රිත කාලය තුල බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දෙස විමසිලිවත්ව බැලූවිට මේ සාපරාධී පහර දීම මනාකොට සැලසුම් කර බොහෝ දෙනාගේ ආධාර උපකාර ඇතිව දියත්වුනු කාලකන්නි මෙහෙයුමක් බව පැහැදිලිය. මේ පිටුපස සිටින අදෘෂ්‍යමාන හස්තයන් තේරුම් ගැනීමට නම් මෙවන් ගැටුමකින් වාසි ලබන පුද්ගලයන් කවරකුදැයි මනාව සිතා බැලිය යුත්තකි. මේ ප්‍රහාරය එල්ලවූ සැනින් මොරටු සරසවි සිසුන්ට මතකයට ආවේ ජනතා විමුක්ති පෙරමුනේ ශිෂ්‍ය දේශපාලන කන්ඩායමයි. උක්ත දේශපාලන කන්ඩායමේ අතීත දස්කම් විස්කම් දෙස බලන විට ඒ සැකය සාධාරණය. දරීද්‍රතාවයෙන් බැටකමින් සිටි අසරණ තරුණයන් වෙත ගොස් ගල්කටස් තුවක්කුවකට මුවාවී සමාජවාදය උදාකරගත හැකැයි පසවා ඒ තරුණයන් උසිගන්වා මෙරට දේශපාලණික ආර්ථික සහ සමාජීය මට්ටමෙන් අස්ථාවර කරන්නට ඒ අහිංසක තරුණයන් පෙලබවූ දේශපාලණ නඩයකට, මුගුරක් අතට දී සහෝදර ශිෂ්‍යයාගේ හිස කුඩුවෙනතෙක් තලන්න යැයි තවත් සරසවි සිසුවෙක් පොලඹවන්නට නිර්ලජ්ජී හැකියාවක් පවතී. ගැටලුව වන්නේ අතීත සාකෂි සාදක දැක දැකත් සමහරක් සරසවි සිසුන් සමාජවාදී ශිෂ්‍ය සංගමය වැනි වඳ දේශපාලන කැණහිලුන් පසුපස ගමන් කිරීමය. එකී සරසවි සිසුන් තම හිස් මුදුන සහ පස්චාත් භාගය අතගා බැලිය යුත්තේ තමන් තුල වෘෂඹ රාජ ලක්ශන පහලව ඇත්දැයි සැක හැර දැන ගැනීමටය.

සමාජවාදී ශීෂ්‍ය සංගම‍ය ගැන කතා කරන මොහොතේදී මොරටු සරසවි සිසු සොහොයුරන්ට යමක් පැවසිය යුතු යැයි සිතමි. අපි ඔබගේ විශ්ව විද්‍යාලය තුල සිදුවන දෑ සියල්ලම නොදන්නවා මෙන්ම ඔබද අප විශ්ව විද්‍යාලය තුල(පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල) වෙන සියලුම දේවල් දන්නේ නැත. බොහෝ දෙනා සිතා සිටින්නේ පේරාදෙණිය යනු ජෙප්පන්ගේ නිජබිමක් ලෙසය නමුත් පේරාදෙණියේ සිටින සියලුම සිසුන් ජෙප්පන් නම් 89 වැනි වාතාවරණයක් නැවතත් ඇතිවී බොහෝ කල්ය. පේරාදෙණීයේ සිටින සියලු දෙනා ජෙප්පන් නොවේ(අවාසනාවකට මගේ මිතුරෙකුත් ඒ ලෙසින් අපට ආමන්ත්‍රණය කර තිබෙනු දැකීම හද සසලවන සුලුය). ‍ජෙප්පෝ කොහෙත් සිටිති පේරාදෙණියේ මෙන්ම මොරටුවේද ඉංජිනේරු පීඨයේද ජෙප්පන් සිටිති, ආණ්ඩුවේද විපකශයේද ජෙප්පන් සිටිති එබැවින් පේරාදෙණියේ සිටින ජෙප්පන්ට වඩා ඔබ අතර සිටින ජෙප්පන් කෙරෙහි ඔබ බිය විය යුතුයැයි මම සිතමි. ඒ නිසා ඔබගේ දුර් මතය දුරු කර ගැනීමට කාලය එලඹ ඇතැයිද සිතමි.

පසුගිය දා ඇතිවූ සටනේදී සාමය ආරකෂා කිරීමට බැදී සිටි නිලධරුවන්ගේ ක්‍රියා කලාපය සැක සහිත බව ඔබ මෙන්ම අපිද දන්නෙමු. අසරණ ශිෂ්‍යයෙක් විශ්ව විද්‍යාලයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට දාගෙන පොලු වලින් පහර දෙනවිට විශ්ව විද්‍යාලය තුලට පිවිසීමට තමන්ට අවසර නැතැයි පවසමින් එලියට වී සිටීම නියම ආකාරයෙන් සාමය ආරකෂා කරන නිලධාරීන්ගේ ක්‍රියාවක් නොවන බව අපි සියලු දෙනාටම පැහැදිලිය. එසේනම් මේ හැසිරීමට මුල කුමක්දැයි සෙවූ විට මේ ගැටුමෙන් වාසි ලබන අනෙක් පාර්ශය කුමක්දැයි පැහැදිලි කරගත හැක මන්ද ‍විරුද්ධ දේශපාලන ක්‍රියාවලියක් නිසා මෙලෙස නිලධාරීන් අකර්මන්‍ය විය නොහැකි බැවිනි.

මේ ක්‍රියාව නිසා වාසි ලැබෙන අනෙක් පුද්ගලයා නම් අපි කව්රුත් හොදින් දන්නා සුදු බන්ඩා දිසානායක මහතාය. ඒ මහතා විශ්ව විද්‍යාල වලට අනවශ්‍ය ලෙස අත පෙවීමට දක්වන්නේ පුදුම උනන්දුවකි. මෙවන් ක්‍රියා හරහා ඒ අනවශ්‍ය මැදිහත්වීම් සාධාරණීකරනය කරගැනීමට ඒ මහතා‍ට හොද ඉඩ කඩක් ලැබේ. මෙවන් සිද්ධි ඇති වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ සිසුන් නිසා යැයිද ඒවා නැවැත්වීමට තව තවත් සරසවි සිසුන්ට මිලිටරි පුහුණුව ලබාදිය යුතු යැයිද මෙරට ජනයා හමුවේ පැවසීමට සහ ඒ කතා ජනයාට ඒත්තු ගැන්වීමට ඒ මහතාට මනා ඉඩ කඩක් මේ හරහා ලැබෙන්නේය. එවිට අසරණ දරුවන්ගේ මහපොළ වාරික දෙකක් නොව හතරක් පහක් හෝ යොදාගෙන මිලිටරි පුහුණු වෙනුවෙන් නාස්ති කිරීම‍ට, මෙවන් ක්‍රියා නැවත නැවතත් ඉටුවීම වැලැක්වීමේ අරමුණින් මෙරට ජනයා එකග වනු නොඅනුමානය. මෙවන් ක්‍රියා වැලැක්වීමට විශ්ව විද්‍යාල තුල පොලිස් ඒකක පිහිටුවිය යුතු යැයි යෝජනාවක් ගෙන ඒමටද ඒ මහතාට පිලිවන. එවිට මෙවන් වාතාවරණයන්ට බියෙන් මෙරට මිනිසුන් එවන් ‍යෝජනා වලට එකග වනු ඇති අතර විශ්ව විද්‍යාල සිසුවට සිදුවන්නේ කට වසාගෙන උඩ බලාගෙන සිටීමටය. මන්ද එවන් යෝජනාවන් සාධාරණීකරනය කරන්නට උදාහරණ සැපයූවේ තමන් නිසාම වන බැවිනි.

ඒ නිසා අවසානයේ සිද්ධිය පැහැදිලිය NDT සිසුන් රතු සහෝදර වරුන්ගේ ලණුවක් කා අන්තිමේදී සුදු බන්ඩා මහතාගේ කොන්ත්‍රාත්තුව නොමිලේම ඉ‍ටුකර දුන්නේය. තමන් මහා ලොකු මුලාවක වැටී ඇති බව NDT සිසුන් දැන්වත් තේරුම් ගත යුතුය.කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය පිහිටුවේද, ත්‍රිමාලා වෙනුරලා නිදහස් අධ්‍යාපනය රැක දුන්නේ සුදු බන්‍ඩලාගේ කොන්ත්‍රාත්තු ඉටු කරමින් අසරණ සිසුන්ගේ ඔලු පලන්නට නොවන බවද NDT සිසුන් තේරුම් ගත යුතුය. මේ සියල්ල NDT සිසුන් පමනක් නොව ගුටි බැට ඇණගෙන ඔලු පලාගෙන ප්‍රශ්ණ විසදිය හැකියැයි පිලිගන්නා ඕනැම පුත්තලම් බූරුවෙක් තේරුම් ගත යුතුය.

සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම මෙම සාපරාධී ක්‍රියාව හෙලා දැකිය යුතු අතුය. එමෙන්ම අපගේ අනුවන කම් වලින් පිටස්තරයෝ වාසි ලබාගැනීමට මාන බලමින් සිටින බවද අප සියලුදෙනා තේරුම් ගත යුතුව ඇත්තෙමු.NDT සිසුන්ට අවසානයට කියන්නට ඇත්තේ සිවලුන්ගේ චාටු බසට රැවටී නුඹ සියලු දෙනා එදා මෙදා තුර මේ නිදහස් අධ්‍යාපනය පිහිටුවීමට සහ එහි පැවැත්මට උර දුන් සියලු දෙනා පාවා දුන් බවය. ඒ නිසා දැන්වත් මේ මුලාවෙන් මිදී යතාර්ථය අවභෝධ කරගෙන මේ ගැටලුව යහපත් මට්ටමකින් විසදා ගැනීමට ඉදිරිපත්වෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් මේ ම්ලේඡ්ච ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා සිටින සොහොයුරාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

සරසවි ශිෂ්‍යයා සහ සමාජ ව්‍යාපෘතිවල මීලග මුහුණුවර

බොහෝ කල සිටක සිත තුල සිරව තිබූ සිතිවිල්ලක් සටහන් කිරීමට කාලය එලබ ඇතැයි සිතමි. දැන් ඇදුරු අරගල හෝ වෙනත් අරගල නොමැති නිසා සරසවිය නිහඩවී ඇත. නිදහසේ සිතීමට සහ ලිවීමට මේ තරම් හොද කාලයක් සහ වටපිටාවක් නැවත ජීවිතයේ කෙදිනක වත් ලැබේවියැයි නොසිතමි. මේ ලිපිය කිසිවෙකුත් විවේචනය කිරීම උදෙසා නොවේ මෙය හුදෙක් බහුතර සරසවි සිසුන් අතර ඇති මතයක් පිළිබද මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කිරීම පමනකි.

වසරක් පාසා සරසවි සිසුන් විවිධ අන්දමේ සමාජ සත්කාර සහ නොයෙකුත් ක්‍රියාකාරකම් වල නිරත වෙති. දෑ වසරක් ගෙවුනු සරසවි දිවිය තුල මමද හැකි සෑම විටම ඒ සෑම දෙයකටම හැකි පමන දායක විය. විටෙක අපි ‍වේදිකා නාට්‍ය රගදැක්වූවෙමු. විටක කලා උලෙළවල් සංවිධානය කල අපි තවත් විටෙක දුර බැහැර ගම් වලටගොස් ඒ ගම්වල දරුවන්ට සිප්සතර උගැන්නුවෙමු. ගරාවැටී ඇති පාසල් ගොඩනැගිලි ප්‍රථිසංස්කරණය කලෙමු. මේ බොහෝදේ කරන්නට අවැසි මුදල් සොයාගන්නට මහදවල් පාරක් පාරක් ගානේ කැටයක් අතින්ගෙන මුදල් සම්මාදමේ යෙදුනෙමු. දෑවසරක් පුරා මේ කල සියලු දේ පිලිබදව සිත තුල ඇත්තේ සතුටක්ම පමනකි. කැට කරන්නට ගොස් ඉදහිට මිනිසුන්ගෙන් බැනුම් ඇසුවද ඒ පිලිබදව සිත තුල දුකක් නොමැත. ඒ අප සියලුදෙනාම අපට කලහැකි පමනින් කලහැකි අවස්ථාවේදී යම් යම් දේ මේ සමාජය වෙනුවෙන් කල නිසාවෙනි. එක පන්තියේ එකට සිටිය උන් අම්මා අප්පාගේ මුදලින් සමාජශාලා වල ආතල් ගනිද්දී අනුන්ගෙන් හිගාගෙන හෝ ගොසින් දුප්පත් පොඩිඑකෙක්ට අකුරක් කියාදෙන්නට ලැබීම ගැන නිහතමානීව සතුටුවන්නෙමි.

නමුත් සහොදෙර සරසවි සිසුන්ගෙන් අසන්ට පැනයක් තිබේ. මේ අපි කරනා සියලු සමාජ සත්කාරයන්ගේ ඊලග පියවර කුමක්දැයි අපි අපගෙන්ම ඇසිය යුතුව ඇත. බොහෝ සමාජ සත්කාර ව්‍යාපෘතීන් දැන් එක්තරා අවදියක හිරවී ඇත. බොහෝ සමාජ සත්කාර වසරින් වසර දියුණුවනබවක් පෙනෙන්නට නැත ඒවෙනුවට සිදුව ඇත්තේ දැනට වසර ගනනාවක සිට එකම මට්ටමක මේ සියලු ක්‍රියාවලීන් නතරවී ඇති බවය.(මින් අදහස් කරන්නේ ඒවා අඩපනව ඇතිබව නොවේ නමුත් ඒවායේ වර්ධණය අඩාලවී ඇත). මෙවන් ව්‍යාපෘතීන් තව තවත් වර්ධනය වීමට නම් මේවාට තුලට තවතවත් සම්පත් යෙදවිය යුතුය. දැන් සිදුව ඇත්තේ සරසවි සිසුන්ට යෙදවිය හැකි සම්පත් ප්‍රමාණයෙන් ඉටුකල හැකි මට්ටමෙන් මේ ව්‍යාපෘතීන් අඩාලව තිබීමය. මේ ව්‍යාපෘතීන් තව දුරටත් වර්ධනය කිරීම අවශ්‍යනම් මේවාට යෙදවෙන මූල්‍ය සම්පත් ප්‍රමානය වැඩිකරගත යුතුය.

මෙවන් ව්‍යාපෘතීන්ට අවශ්‍ය මූල්‍ය යෙදවුම් සොයාගත හැකිවන්නේ පෞද්ගලික වෙලද ව්‍යාපාර තුලය. පෞද්ගලික ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ ලාභ අපේකෂාවෙනි සමාජ සත්කාරයකට මුදල් යෙදවුවද ඔවුන් බලන්නේ තම නම ප්‍රසිද්ධ කරගැනීමටය. කොටින්ම කියනවානම් අපිට ඔවුන්ගේ මුදල් ලබාගැනීමට අවැසිනම් අපේ සමාජ සත්කාරය තුල ඔවුන්ගේ නම මාකට් කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. එමෙන්න අපේ සමාජ සත්කාරයට හොද ප්‍රසිදිධියක් සහ සමාජය ඉදිරියේ විශාල ප්‍රතිරෑපයක් ගොඩනැගීමට අවශ්‍යය කොටින්ම කියනවානම් අපේ ව්‍යාපෘතියට හොද මාකට් වැලිව් එකක් තිබිය යුතුය.

බොහෝ සිසුන් සමග මගේ මතය ගැටෙන්නේ මෙන්න මේ අවස්ථාවෙදීය. සමාජ සත්කාරයන් මුදලට නොවිකිනිය යුතුයැයි බොහෝදෙනා කෑමොරදී කියාසිටිති. නමුත් මම දකින පරිදිනම් මාකට් වැලිව් එකක් ගොඩනගා ගැනීම සහ මාකට් එකේ විකිණීම කාරණා දෙකකි. අපිට වටිනාකමක් තිබුනද මුදලට නොවිකිනී සිටීමට අපට හැකිනම් අපේ වටිනාකම ඉහල දමාගත්තාට පාඩුවක් වෙන්නේ නැත. සමාජ සත්කාර ජනප්‍රය කිරීම නොකල යුතුයැයිද ඒවා අපේ මහන්සියෙන් අපිම ඉටුකර නිහඩව සිටිය යුතුයැයිද තවත් අය තර්ක කරනවා මම දැක තිබේ. නමුත් ජනප්‍රයත්වයක් නොමැතිව ආයෝජකයෙක් සොයාගන්නේ කෙසේදැයි මම නොදනිමි. ආයෝජකයෙක් නොමැතිවූවිට සිදුවන්නේ ව්‍යාපෘතිය එකතැන පල්වීමය. තවමත් අධ්‍යාපනයේ යෙදෙන පිරිසක් ලෙස අපිට එක්රැස් කලහැකි සම්පත් ප්‍රමාණය ඉතා අල්පය නමුත් මේ සමාජය තුල අනේක ප්‍රමානයක් සම්පත් පවතී ඒ සම්පත් නිසියාකාර මාර්ගයකට යොමුකිරීම අපි විසින් සිදුකල යුතුය. ඒ සදහා දීර්ඝ උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යවන අතර සමහර ගතානුගතික මත ඉවතහෙලීමටද අපට සිදුවනුඇත.

මගේ හැගීම පරිදිනම් අපගේ මේ සියලු සමාජ ව්‍යාපෘති දැන් නවතම අදියරකට යායුතු කාලය එලඹඇත. අමාරුවෙන් කීයක් හෝ හොයාගෙන අමාරුවෙන් ගැටගහගෙන යන සමාජ සත්කාර වෙනුවට පෞද්ගලික වෙලද ආයතන හා ව්‍යාපාර සතු සම්පත් උපායමාර්ගිකව යොදාගෙන සිදුකරන මහා පරිමානයේ දැවැන්ත සමාජ සත්කාර ව්‍යාපෘතීන්බවට මේවා පත්වීමට කාලය එලබ ඇතිබව මගේ හැගීමයි. පෞද්ගලික සමාගමක් සමග වැඩකරන්නට අපි බියවිය යුතුනැත. ඔවුන් සතුව සම්පත් ඇත අපි සතුව අදහස් සහ සැලසුම් ඇත. ඔවුන්ට ජනප්‍රියවීමට අවශ්‍යය අපිට මේ රටට වැඩක් කිරීමට අවශ්‍යය. ‍දෙපාර්ශවයේ උවමනා සමතයකට ගෙනවිත් මේ ව්‍යාපෘතීන් තවත් වර්ධනය කිරීමට අපට හැකිවිය යුතුය. එසේ නොමැතිව හනමිටි අදහස් හිසමත තබාගෙන විශ්ව විද්‍යාලය තුලට වී සිටීමෙන් පලක් නැත.
මේ ආකාරයේ විශාල සමාජ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වීම එක්තරා ආකාරයට රජයටද තම වගකීම් පිලිබදව සිහිකැදවන්නක් වනුඇත. තමන් විසින් ඉටුකල යුතුදේ වෙනත් පාර්ශවයන් විසින් ඉටුකරනු ලබන විට ඒ නායකත්වය පිබිබදව ජනයාට ඇති විශ්වාසය සහ ජනප්‍රියත්වය බිදවැටීම අනිවාර්ය ක්‍රියාවකි. මොනතරම් පාරම්බෑවද කිසිදු රජයක් තමන්කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය අඩුවෙනවාට කැමති නැත. එවිට ඔවුන්ටද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තම වගකීම් ඉටුකිරීමට සිදුවනු ඇත. තවද ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වෙන වෙලද ව්‍යාපාරවල මූල්‍ය සංචිතයන්ගෙන් ‍සමාජයට සහපත් ක්‍රියාවක් ඉටුකිරීමටද අපට හැකිවනුඇත. කොටින්ම කියනවානම් මෙය හුදෙක් පාසලක ගොඩනැගිල්ලක තීන්ත ගෑමක් පමනක් නොව සමාජ දේශපාලන ආර්ථික රාමුවන්ගේ දැවැන්ත වෙනසක මූලාරම්භය වනුඇත.

මේ ලෝකය වෙනස් කිරීමට බොහෝමාර්ග ඇතිබව අපිවිසින් වටහාගත යුතුව ඇත. තවද සෑම දාම එකම මාර්ගයක සිරවී විටීමෙන් පලක් නැතිබවද විටින් විට ගමන්ගන්නා මාර්ගය වෙනස්කල යුතුබවද අපි තේරුම්ගත යුතුය.

අපරාධ නඩු විධිවිධාන පනත සංශෝධනය කිරීම හෙවත් හොර තුවක්කු වලට ලයිසන් දීම

සරසවි ඇදුරු අරගලය නිමවී විශ්ව විද්‍යාල වල කටයුතු සාමාන්‍ය තත්වයට ඇවිත් ගතවූයේ දින කිහිපයකි. ඊයේ දහවල් තම කෑම පැයේදී බහුතරයක් සරසවි සිසුන් නැවතත් පාරට බැස්සේය. මෙවර ඔවුන් පාරට බැස්සේ මහපොළ වැඩිකරගැනීමට හෝ වෙනයම් සුභසාධන අරමුනක් උදෙසා නොව. රජය විසින් ගෙන එන්නට උත්සාහ දරණ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ සංශෝධනයන්ට විරෝධය දැක්වීමටය. සැබැවින්ම මේ මොහොතේ මේ රට තුල ප්‍රධානම මාතෘකාව විය යුත්තේ මේ කාරණය වුවත් අද දින ප්‍රමුඛ පෙලේ පුවත්පත් එකකවත් මේ පිලිබදව පුවත් වාර්තානොවී තිබීම එක් අතකින් කලකිරීම දනවන අතර තවත් අතකින් පුදුමයකටද හේතුවේ. කෙසේවෙතත් බරපතල සමාජ අර්ථික අර්බුධයක් දුරතියා දැක ඊට එරෙහිව ප්‍රථම හඩ නගන්නට ලැබීම සම්බන්දව අපි නිහතමානීව සතුටුවෙන්නෙමු.

වැඩිදුර සාකච්චාවකට ප්‍රථමව මේ පනතේ අන්තර්ගතය පිලිබදව යම් කථිකාවතකට යොමුවීම වටින්නේ යැයි මට සිතේ. පනතේ සදහන් එක් කරුණක් වන්නේ දින 2 ක කාලයක් දක්වා සැකකරුවන් රදවාගෙන සිටීමට පොලීසියට ලබාදී ඇති බලතලයි. තවද මේ පනතට අනුව පොලීසිය විසින් සැකකරුගෙන් ලබාගන්නා ප්‍රකාශය අධිකරණය විසින් පිලිගත යුතු අතර පැමිණිල්ලේ සාකෂිකරුවන්ගෙන් හරස්ප්‍රෂ්ණ ඇසීමේ අයිතිය විත්ති පාර්ශවයේ නීතිඥයාගෙන් අහිමිවී යයි. වඩාත් වැදගත්වන්නේ මේ පනත තුලින් අතීතයට බල පැවැත්වෙන පරිදි නඩු පැනවීමේ ඇති හැකියාව සහ විත්තිකරුවෙක්ට විරුද්ධව නීතිපති උපදෙස් මත කෙලින්ම මහාධිකරණයේ අධිචෝධනාපත්‍ර ගොනුකිරීමේ ඇති හැකියාවයි. මේ පනතට අනුව මහජනයා තුල කලබල ස්වභාවයක් ඇතිකරන්නාවූ ඕනෑම පුද්ගලයෙක් මේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට පවතී. කොටින්ම කියනවා නම් ඕනැම කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගන්නවා යැයි පවසා අත්අඩංගුවට ගැනීමටද ඒ පුද්ගලයා දින 2ක් පුරාවට රදවා තබාගැනීමේ හැකියාවද ඔහුගෙන් කුමන ආකාරයකට හෝ තමන්ට අවශ්‍ය ප්‍රකාශය ලබාගැනීමට ද එසේ ලබාගන්නා ප්‍රකාශය මත පදනම්ව විත්තිකරුට විරුද්ධව අධිචෝධනා ගොනුකිරීමටද පොලීසියට මේ පනත මගින් හැකිවනු ඇත. එමෙන්ම පොලීසිය ඉදිරිපත් කරන ප්‍රකාශය අධිකරණය පිලිගත යුතුවන අතර විත්තියේ නීතිඥවරයාට පැමිණිලි පාර්ශවයෙන් ප්‍රශ්ණ ඇසිය නොහැකි නිසා විත්තිකරු නිකන්ම වැරදිකරුවෙක් කිරීමේ හැකියාවද පවති. මේ සියලු ක්‍රියාවලින් නීත්‍යානුකූල නොවන මට්ටමින් අදි සිදුවෙමින් පවතී. මේ පනත හරහා සිදුවන්නේ මේ නීත්‍යානුකූල නොවන මර්ධනයට නීත්‍යානුකූල භාවයක් ලබාදීමය. කොටින්ම කියනවා නම් මෙය ද‍ඩයම් කරුවන්ගේ හොර තුවක්කු වලට ලයිසන් ලබාදීම වැනිය.

මේ පනතේ අඩංගුවන කාරණාදෙස බැලීමේදී හොදින්ම පෙනීයන දේ නම් මේ සියල්ලම කියම් සුලු පිරිසකගේ අනාගත සුඛවිහරණය උදෙසා ගොනුවන්නක් බවය. මන්ද මෙවන් පනතකින් මේරටේ ආර්ථිකය දියුනුවෙන්නේ නැත. අධ්‍යාපනයේ ඇති ගැටලු විසදෙන්නේ නැත. මෙයින් සිදුවන්නේ මේ රටේ සිටින එක්තරා පාර්ශවයකට සහ ඔවුන්ගේ සනුහරයට සීමාන්තිකව මේ රටේ සම්පත් කාබාසිනියා කරමින් ‍ඩෙගානැටීමට අවස්ථාව ලබාදීම සහ ඒවාට විරුද්ධ වීමට විකල්ප බලවේගයන්ට ‍ඇති අයිතිය අහුරාදැමීමය. රටක් ලෙස ගත්කල මෙය දැඩි අවධානම් කාරී වාතාරණයකි. මේ සදහා නිවැරදිම උදාහරණය ලබාදෙන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මින්පෙර දිනයක ඒ ව්‍යවස්ථාව සම්මත කරනු ලැබූ අවස්ථාවේදී මේ නව නායකත්වය ඔස්සේ මේරට සුඛිත මුදිත වනු ඇතැයි ලෝකයට ඇසෙන්නට පාරම්බෑ සමහරක් දේශපාකයින් දැන් ඒ ව්‍යවස්ථාව හරහා ගොඩනැගුණු අත්තනෝමතික බලයේ ක්‍රියාකරකම් ඉදිරියේ නිහඩව බලාසිටිති. අත්තනෝමතික බලය සෑම විටම පිටුදැකිය යුතුය. මන්ද අත්තනෝමතික බලය විසින් ඕනෑම මනුශ්‍ය හිතවාදියෙක් මනුශ්‍ය ප්‍රථිරූපකයෙක් බවට පරිවර්ථනය කරනුලබන නිසාවෙනි. නමුත් අද පැනනැගිඇති ගැටලුව නම් මේ මොහොතේ මේ ගොඩනගන්නට උත්සාහ දරන අත්තනෝමතික බලයට විරුද්ධව කිසිවෙක් නැගී නොසිටීමය.

මේ පනත ගෙන ඒමේ ප්‍රධාන අරමුණ ලෙස පාලකයන් උලුප්පවා දක්වන්නේ ජාතික ආරක්ෂාව වර්ධනය කිරීමයි. එනම් මේ රට තුල සිටින මිනිසුන් ප්‍රකෝප කොට එමගින් රජය අස්ථාවර කිරීමේ විජාතික කුමන්ත්‍රණයන් පැරදවීම මේ පනතේ අරමුණ පාලකයන් හුවාදක්වමින් සිටිති. විජාතික බලවේග වලින් මේ රට ආරකෂාකරගත යුතුය නමුත් මෙහිදී අසන්නට ප්‍රශ්ණයක්ද මතුවේ එනම් ජනයා ප්‍රකෝප කලහැකි වන්නේ ජනයා ප්‍රකෝප කල හැකි සාධකයන් පවතීනම් පමනි. එසේ ජනතාව කුපිත කලහැකි සාධක නොමැතිකල ජනයා ප්‍රකෝප කරවීමට කිසිවෙකුටත් බැරිය එසේනම් පාලකයන් කියන පරිදි මේරටේ ජනයා කුපිත කිරීමේ අවධානමක් පවතීනම් එයින් හැගෙන්නේ මේ රටේ ජනයාට ප්‍රශ්ණ ඇතිබවය. එලෙස ප්‍රශ්ණ ඇත්නම් ඒවාට විසදුම් නොදී මෙවන් අත්තනෝමතික අණ පනත් ගෙනඒමේ වෑයම කුමක්දැයි අපි විසින් අවභෝධකරගත යුතුය. මේ පනත ව්‍යංගයෙන් කියන්නේ ඉදිරියේදී මේ රටේ ජනයාගේ සහයෝගය වත්මන් පාලගයන්ට නොලැබී යාමේ අවධානමක් පිලිබදව ඔවුන් බියෙන් පසුවන බව නොවේද. ඔවුන් මේ හරහා කරන්නට උත්සාහ කරන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය අභිබවා නැගීඑන විකල්ප නායකත්වයන් විනාශකර දැමීමේ ක්‍රියාවලිය නීතිගත කිරීමටය.

අනාගතයේ දිනක ඇමති පුතාලා අපේ අම්මා වරුන් සහ අක්කා වරුන් බලෙන් තම සයනයට ඇදගෙන ගිය විටක ඊට විරුද්ධව යම් හඩක් නැගුව විට ඒතුලින් මහජනයා ප්‍රකෝප ‍කලේයැයි අපිව අත්අඩංගුවට ගනු ඇත. පොලීසියේ රදවාගෙන සිටින දින කිහිපය තුල ඇතිවෙන බලපෑම් මත මේ සියලුම දේවල් ඒ ඇමති පුතා අපහසුතාවයට ලක්කිරීමේ වෑයමෙන් තමන් විසින් හිතාමතා කරන ලද ක්‍රියාවලින් යැයි පැවසීමටද ඔබට සිදුවනු ඇත. එමෙන්ම ඔබේ අම්මා හෝ සහෝදරිය බලෙන් ඇදගෙන ගියා නොව ඔවුන් ඒ ඇමති පුතාව බලෙන් වරදට පොළබවගත්තා යැයි කීමටද ඔබට සිදුවනු ඇත. අවසානයේදී අර මේජර් වරයාගේ සිද්ධිය නැවත නැවතත් සිදුවෙනු ඇත. මේ අත්තනෝමතික අණපනත් නිසා ගොඩනැගෙන අත්තනෝමතික බලයේ ආදීනව ගැන අපි මීට වඩා සිතිය යුතුය.
අවසාන වශයෙන් කියන්නට දෙයක් ඇත මේ පරිපාපනය සර්ව සුභවාදයේ නහුතෙටම නැග සිටි අ‍වස්ථාවේදී ඉදිරිපත්කල විශ්‍රාම වැටුප් පනත පවා අකුලාගන්නට සිදුවුනේ ඒ අවස්ථාවේදී ඇතිවූ බරපතල ජනතා නැගීසිටීම නිසාවෙනි. මේ පනත ඊටත් වඩා මේ රටේ අනාගතයට අහිතකරය ඒ නිසා ඊ‍ටත් වඩා විශාල ජන විරෝධයක් මේ සම්බන්ධව ගොඩනැගිය යුතුය. මේ බොහෝවිට අවසාන අවස්ථාව වනු ඇත මන්ද මින්පසු පාලකයන්ගේ දූශිත ක්‍රියාවන්ට එරෙහිව අපිට නැගී සිටීමට ඇති ඉඩ කඩ මේ පනත තුලින් අහෝසිව යන බැවිනි.

“දැනුවත්වෙමු – දැනුවත්කරමු
එකමුතුවෙමු – දූශණය පලවාහරිමු”